තුන් ලොව තතු ලෙස දත් ලෝකවිදු බුදුපියාණෝ
තුන්ලොව යනු ඕකාස ලෝකය, සත්ත්ව ලෝකය හා සංඛාර ලෝකය යන තුන්වැදෑරුම් ලෝකයයි. බුදුරදුන් සබ්බා සූත්‍රයෙහි ලොව සියල්ල කුමක්දැ’යි මෙසේ හැඳින් වූහ. “මහණෙනි, මම ලොව සියල්ල ඔබලාට දේශනා කරමි. ඒ කවරේදයත් “ඇස-රූප, කණ-ශබ්ද, නාසය - ගඳ සුවඳ, දිව- රස, කය-පොට්ඨබිබ, මනස-ධර්ම” බුදු රදුන් විසින් පහදා දුන් මේ සියල්ල ලොවට අයත් දේවල්ය.
බුදුගුණ අනන්තය, බුදුගුණ කියා නිමකළ නොහැකි වුවත් අප උදේ සවස වන්දනා කරන විට සිහිපත් කෙරෙන බුදුරදුන්ගේ නවලොව්තුරු ගුණයන් පිළිබඳව බිඳක් දැන සිටීම මිත්‍යා දෘෂ්ටියට නොවැටී සුගතිපරායන වීමටත් උතුම් වූ නිවන් සැප පිණිසත් හේතුවනු ඇත. අද අප අවධානය යොමු කරනුයේ උන්වහන්සේගේ ලෝකවිදූ බුදුගුණ කෙරෙහිය. මෙහිදී ලෝකවිදූ ගුණයත් සම්මා සම්බුද්ධ ගුණයත් සමාන ලෙස කෙනෙකුට හැඟෙනු ඇත. ඒ බුදුගුණ දෙක අතර ඇති වෙනස ද සැකෙවින් වටහා ගනිමු.
සම්මා සම්බුද්ධ ගුණයෙන් කියැවෙන්නේ අප බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශයකින් හෝ ලොව අන් කිසිවකුගෙන් අසා දැනගෙන නොව ස්වකීය ශක්තියෙන්ම චතුරාර්ය සත්‍යය ඇතුළු සියලු මාර්ගයන් ප්‍රත්‍යක්ෂ කරගත් බවයි. සම්බුද්ධ යන නාමය ලබන්නේ පසේ බුදුවරුන් සහ ලොව්තුරා බුදුවරුන් පමණි. ලෝක විදූගුණය සම්මා සම්බුද්ධ ගුණයෙන් වෙනස් වන්නේ කෙසේද? ලෝකය යනුවෙන් මෙහිලා අදහස් වන්නේ අනන්ත අප්‍රමාණ විශ්වයයි. ලෝක යන වචනයට දක්වන අප්‍රමාණ විශ්වයේ අවකාශයත් ඒ අනන්ත විශ්වයේ පෙනෙන සියලුම සත්ත්වයන් පිළිබඳවත් ඒ විශ්වයේ පවත්නා ධර්මතා සියල්ලත් අයත් වේ. මෙම ලෝකය පිළිබඳ පවත්නා පුද්ගලයන්ගේ දැනුම ඉතාමත් සීමිතය. එය උදාහරණයකින් පවසනවානම්, පෘතුවියෙන් නිය මතට ගත් පස් බිඳකට සමානය. එසේත් නැත්නම් පෘථුවියෙන් ගත් වැලි ඇටයක් තරම්ය. නවීන විද්‍යාඥයකු අලුත් යමක් විද්‍යාත්මක පරීක්ෂණයකින් සොයා ගන්නා විට, ඒ මගින් ඔහු දකින්නේ ඊට වඩා අනන්ත අප්‍රමාණ සත්‍යයන් ඒ පිළිබඳව පවත්නා බවයි. ඒ ඒ විෂයන්ට ඒ ඒ විද්‍යඥයො බිහිවී සිටිති. එහෙත් මේ සියලු දෙනා විශ්වයේ වැලි ඇටයක් පමණ දේ දනිතැයි ඔවුන්ටම හැඟීයයි. මේ අනුව පුහුදුන් එබඳු කෙනෙකු ‘ලෝකවිදු’ තමා ලොව සියල්ල දත්බව නොකියති. එහෙත් තථාගතයාණෝ තුන් ලොවම තතු ලෙස දත්තෝ ය.
තුන්ලොව යනු ඕකාස ලෝකය, සත්ත්ව ලෝකය හා සංඛාර ලෝකය යන තුන්වැදෑරුම් ලෝකයයි. බුදුරදුන් සබ්බා සූත්‍රයෙහි ලොව සියල්ල කුමක්දැ’යි මෙසේ හැඳින් වූහ. “මහණෙනි, මම ලොව සියල්ල ඔබලාට දේශනා කරමි. ඒ කවරේදයත් “ඇස-රූප, කණ-ශබ්ද, නාසය - ගඳ සුවඳ, දිව- රස, කය-පොට්ඨබිබ, මනස-ධර්ම” බුදු රදුන් විසින් පහදා දුන් මේ සියල්ල ලොවට අයත් දේවල්ය. විද්‍යාඥයන් පර්යේෂණයන්ගෙන් අත්හදා බලන්නේ මෙකී ඉන්ද්‍රියන් හා ඉන්ද්‍රියන්ට අනුරූප වස්තූන්ය. මෙහිදී බුදුරජුන් මෙසේද පැහැදිලි කළහ. මහණෙනි, මේ ඉන්ද්‍රියන්ට හා ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ට බාහිරව යමෙක් යම් කිසිවක් පිළිබඳව ප්‍රකාශ කෙරෙයි නම් ඒ සියල්ල වචන රැසක්(වාචාවත්‍ථු) පමණි. එසේ නම් බුදු රජාණන් වහන්සේ ලෝකය පිළිබඳ දත් සියල්ල මිනිසාගේ ඉන්ද්‍රියන් හා ඉන්ද්‍රියන්ට අරමුණ වන්නාවූ දේවල් පමණි. මේ අනුව බුදුන් වහන්සේ ලෝක විදුවරයාණන් බවට පත්වන්නේ ඉන්ද්‍රිය හා අතින්ද්‍රිය ඥානයෙන් හෙවත් අභිඥාවන්ගෙන් තුන් ලොවම යථාභූත වශයෙන්, නිවැරැදිව දත් නිසා ය. කිසිදු විද්‍යාඥයෙකුට දිව්‍ය, බ්‍රහ්ම කිසිවකුට තථාගතයන් වහන්සේගේ ලෝකවිදු ඥානයට ලංවීමට නොහැක.
ඕකාස ලෝකය යනු අවකාශ ලෝකය හෙවත් අනන්ත අප්‍රමාණ විශ්වයයි. ඒ විශ්වයේ පවත්නා චන්ද්‍ර ,සූර්ය්‍ය, ග්‍රහ වළලු, තරු පොකුරු ආදියෙන් සමන්විත චක්‍රාවාටයි. චක්‍රාවාට යනු නාසා ආයතනය විසින් හබල් දුරේක්ෂ තුළින් දක්නා ලද ‘ගැලෙක්සින්’ ය. මේ ගැලෙක්සින් ද අනන්ත අප්‍රමාණය. ඒවා අතර දුර මණින්නේ ආලෝකය වසරකට ගමන් ගන්නා වේගය හෙවත් ‘ආලෝක වර්ෂ’ නම් වූ මිනුම් දඬු ඔස්සේ ය. නාසා ආයතනය මගින් නිකුත් කරන ලද හබල් දුරේක්ෂයෙන් දැක ඡායාරූපගත සිදුවීම් මගින් මේ ගැලෙක්සින්හි හෙවත් ලෝකධාතුන්ගේ පිපිරීම් මගින් කියා පාන්නේ බුදුරදුන් දේශනා කළ ලෝක ස්වභාවය හෙවත් විශ්වයේ එක්තරා ස්වභාවයකි. “ ලෝකය යනුවෙන් කියන්නේ කුමක්ද?” මහණෙනි ලෝකය යනු ‘ලුජ්ජති පලුජ්ජති ලෝකො’ බිඳෙන පළුදුවන ස්වභාවයයි. මේ අනුව ආලෝක වර්ෂ මිලියන බිලියන ගණනකට පෙර පිපිරීම් නවීන විද්‍යාවෙන් සනාථ කර ඇත. ලෝකය පිළිබඳවත් ලෝකයන් හට ගැනීම පිළිබඳවත් එහි පැවැත්ම හා විනාශය පිළිබඳවත් ලෝකවිදූ බුදුරජුන් දැන දැක පැහැදිලි කළහ.
ඕකාස ලෝකයේ අන්තය අනන්තය පිළිබඳ අසන ප්‍රශ්න නිසරු, අර්ථ ශුන්‍ය, මිනිසකුගේ ඉන්ද්‍රිය අනුභුතියට හසුකළ නොහැකි, එසේම මිනිසාගේ මූලික සංසාර දුක පිළිබඳව ගැටලුවට අදාල නොවන නිසා බුදු රජාණන් වහන්සේ ඊට පිළිතුරු දීම ප්රතික්ෂේප කළහ. මාලුංක්‍ය පුත්ත භික්‍ෂුව ඇතුළු බොහෝ දෙනෙක් බුදුරදුන්ගේ ලෝකය(විශ්වය) අන්තවත් ද? අනන්තවත් ද? ලෝකය සදාකල් පවතින දෙයක්ද? එය තිබී විනාශයට (උවෙරදයට) පත්වන දෙයක් ද? යන ප්‍රශ්න සතර ඇතුළු ප්‍රශ්න- දහයක් බුදුරදුන්ගෙන් ඇසූහ. බුදු රදුන් ඒ ප්‍රශ්න ‘අව්‍යාකත’ ප්‍රශ්න ලෙස සලකා ඒකාන්ත පිළිතුරක් නොදී බැහැර කළහ. සමහර උගතෙක් (රාධ ක්‍රිෂ්ණන්) බුදුරදුන් මේ විශ්වයේ අන්තය ගැන හෝ අනන්තය ගැන නොදත් නිසා, එනම් අඥෙයවාදියකු නිසා බුදුරදුන් මේ ප්‍රශ්නවල පිළිතුරු නොදුන් බවට මතයක් දරයි. කාන්සේ හා ටී.ආර්.වී.මූර්ති බුදුරදුන් තාර්කික පදනමක පිහිටා සිටිමින් මේ ප්‍රශ්න නිවනට අදාළ නොවන නිසා ඒවාට නිශ්චිත පිළිතුරක් නොදුන් බවට අදහස් දැක්වූහ.
අප බුදුරදුන් විශ්වයේ කෙළවර ගැන ඇසූ එම අව්‍යාකත ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ එකී උගතුන් දැක්වූ අදහස් නිසා නොව බුදුන් වහන්සේ සැබවින්ම ලෝකය පිළිබඳ මනාව දුටු නිසාත් එයට දෙන පිළිතුර එම ප්‍රශ්නය ඇසූ පුද්ගලයා තවත් අවුලකට පටලැවෙන නිසාත්, එක් අතකින් එය නිවනට අදාළ නොවන නිසාත්, ‘සක්කාය’ දිට්ඨියෙන් යුතු පුද්ගලයන් මේ ප්‍රශ්නවලට පිළිතුරු විමසන්නේ ය එම සක්කාය දිට්ඨියට බැඳුනු නිසාත් බව බුදුරදුන් පැහැදිලි කර ඇත. මිනිසා සක්කාය දිට්ඨිය වටේ ගමන් කරමින් ඒ අන්තයටත් අනෙක් අන්තයටත් ගමන් කරයි. මෙහිදී බුදුරදුන්ගේ ලෝකවිදු ගුණය වනාහි ප්‍රකටකරණ සූත්‍ර රාශියක් දැක්විය හැකිය. ලෝකධාතුන්ගේ අනන්ත අප්‍රමාණ ස්වභාවය උන්වහන්සේ මැනවින් දුටුවාහ. අනමතග්ග සංයුක්තයෙහිද, අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයෙන්ද ලෝක ධාතු විභාගය බුදු රදුන්ගේ අවකාශ ලෝකය පිළිබඳ ඥානය මනාව පැහැදිලිව පෙන්නුම් කරයි. එහිදී එක් හිරකින් සදැකිය සමන්විත ලෝකධාතු ඇති අතර එබඳු ලෝකධාතු දහසකින් සමන්විත ලෝක ධාතුවක් වේ. (ගැලැක්සි) එය චූලනී ලෝක ධාතුව නම් වේ. චුලනිකා ලෝකධාතු දහසක් සමන්විත තවත් ලෝක ධාතුවක් වේ. එසේ ගුණ කළ විට ලෝකධාතු දස ලක්ෂයක් වෙයි. එය මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව යි. මධ්‍යම සහස්සි ලෝකධාතුව තවත් ලෝකධාතු දහයකින් ගුණ කළ විට එය ත්‍රි සහස්සි මහා සහස්සි ලෝකධාතු නම් ලෝකධාතු විශේෂයක් පවතී.
මේවා අතර දුර ප්‍රමාණය හා කාලය පිළිබඳ බුදුරදුන් දැන දැක ප්‍රත්‍යතක්ෂකර ගෙන සිටියත් එය මිනිස් අනුභූතියට පමණක් නොව දෙවියන්ගේ බ්‍රාහ්මණයන්ගේ අනුභූතියටත් හසුනොවන නිසා ලෝකය අනමතග්ග හෙවත් සිතින් සිතාවත් අවබෝධ කරගත හැකි දෙයක් නොවන බවත් පැහැදිලි කොට විශ්වයේ අන්තය අනන්තය පිළිබඳ ප්‍රශ්න අව්‍යාකත ප්‍රශ්න ලෙස සලකා පිළිතුරු දීම ප්රතික්ෂේප කළහ. මේ අනුව බුදු රදුන්ගේ අවකාශ ලෝකය පිළිබඳ ලොකවිදු වන්නාහ.
මීළඟට බුදු රජාණන් වහන්සේ සත්ත්ව ලෝකය පිළිබඳව මැනවින් දුටුවාහ. එය ද සාමාන්‍ය මිනිස් ඇසට ගෝචර වන්නක් නොවන නිසා එසේම සිතින් සිතාවත් පසක් කරගත නොහැකි නිසා සත්ත්ව විෂය අචින්තනීය වේ. එහි මුලක් මැදක් අගක් කෙළවරක් පිළිබඳව දැකිය නොහැකි නිසා සිතිය නොහැකි නිසා (අන+මන්+අග්ග) අනමතග්ග වන්නේය. එබඳුවූ සත්ත්ව විෂයක් පිළිබඳව බුදු රජාණෝ ලෝකවිදූ වූහ. අනන්ත අප්‍රමාණ වූ ඕකාස ලෝකයේ ඉහත කී එක ලෝකධාතුවක හෙවත් එක සක්වළක(චක්‍රාවාටයක) සත්ත්ව භූමි තිස් එකක් ඇත.
එය අපාය භූමි සතරකින්ද, සුගති භූමි සතකින් ද ප්‍රථම ධ්‍යාන භූමි තුනකින්, ද්විතීය ධ්‍යාන භූමි තුනකින් තෘතිය ධ්‍යාන භූමි තුනකින්, චතුර්ථධ්‍යාන භූමි සතකින් හා පංචමධ්‍යාන අරූපාවචර භූමි සතරකින් ද සමන්විත මේ සත්ත්ව භූමි තිස් එක පිළිබඳවත් සෙසු සක්වල යන්හි වෙසෙන අනන්ත අප්‍රමාණ සත්ත්ව ලෝක පිළිබඳවත් බුදුන්වහන්සේ දුටු නිසා උන්වහන්සේ ලෝකවිදූ නම් ගුණයෙන් හැඳින්වේ.
බුදුරදුන් දුටු මේ සත්ත්වභූමි තිස් එක පිළිබඳව සැකෙවින් දැනගැනීමෙහිලා වැදගත් වනු ඇත. යමෙක් මේ පිළිබඳව නොදැන සිටීමෙන් බුදු ගුණ පිළිබඳව සැක සංඛා ඇති කරගැනීම සම්‍යක් දෘෂ්ටියට ඉමහත් බාධාවකි. ඒ තිස් එකක් වූ සත්ත්ව ලෝකය මෙසේ ය.
1.අපාය සතරකි.
i නරකාදිය
ii තිරිසන් ලෝකය
iii ප්‍රේත ලෝකය
iv අසුර ලෝකය
2. කාම සුගති ලෝක සතකි.
i මනුෂ්‍ය
ii චාතුර්මහා රාජික
iii තාවතිංසය
iv යාමය මතුසිතය මඪ නිම්මානරතිය මඪඪ පරනිම්මිත වසවත්තිය
3. ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක තුනකි
i බ්‍රහ්ම පාරිසජ්ජ
ii බ්‍රහ්ම පුරොහිත
iii මහාබ්‍රහ්ම
4. ද්විතීය ධ්‍යාන භූමි තුනකි
i පරිත්තාභ
ii අප්‍රමාන ආභ
iii ආභස්සර
5. තෘතිය ධ්‍යාන භූමි තුනකි
i පරිත්ත සුභ
ii අප්‍රමාණ සුභ
iii සුභ කිණ්ණක
6. චතුර්තධ්‍යාන සතකි
i වෙහප්පල
ii අසඤ්ඤසත්ත
iii අවිහ
iv අතප්ප
v සුදස්ස
vi සුදස්සි
vii අකනිටිඨ
7. පංචම ධ්‍යාන අරූපාවචර භූමි සතරකි
i ආකාසාන ඤ්චායතන
ii විඤ්ඤාණ ඤ්චායතන
iii ආකිඤ්චඤ්ඤායතන
iv නෙව සඤ්ඤා නා සඤ්ඤායතන
යනු මේ සත්ත්ව භූමි හෙවත් සත්ත්ව ලෝක තුළ තිස් එක් වැදෑරුම් වේ. අප බුදුරදුන් මේ සත්ත්ව ලෝකයන්හි පැවැත්ම පැවැත්මට හේතු සහ ඒ සත්ත්වලෝකයන්ගේ විනාශය හා විනාශයට හේතුන් සියල්ල දුටු බැවින් උන්වහන්සේගේ ලෝක විදූ ගුණය සාමාන්‍ය මිනිසාගේ විෂය දැනුමට වඩා එහා ගිය බැවින් එය විෂයාතික්‍රාන්තය.
මීළඟට බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් තෙවෙනි ලෝක විෂය වන්නේ සංඛාර ලෝකයයි. සංඛාර ලෝකය යනු ඉහතින් දැක්වූ අවකාශය හෙවත් විශ්ව ධාතුන් හා ඒ විශ්වයේ වෙසෙනා සත්ත්ව ලෝක පිළිබඳ භෞතික හා මානසික හෙවත් නාම රූප ධර්මයන් පිළිබඳ යථාභූත වශයෙන් ලැබූ අවබෝධයයි. එක් සක්වලක කොතරම් සඳහිරු තාරකා තිබේද ඒ සක්වල ධාතුන් අනන්ත අප්‍රමාණ වන අතර ඒ පිළිබඳ අවබෝධය ලත් බුදුන් වහන්සේ ඒවායෙහි වෙසෙන සත්ත්ව වර්ගවල අනන්ත අප්‍රමාණ බවද දුටුවාහ. අපගේ දෘශ්‍යමය විෂයට ගොදුරු කළ හැකි ගැඹුරු මුහුදු පත්ලක වෙසෙන සත්ත්වයෝ කොතරම් ද? සමහර සත්ත්වයෝ ශාඛාවන් වැනිය. සමහර සත්ත්වයෝ ස්ථාවර පාෂාණ වැනියහ. කුඩා අන්වීක්ෂයකින් බැලූ විට ගසක පත්‍රයක කොතරම් ක්‍ෂුද්‍ර සත්ත්වයෝ වෙසෙත්ද? මේ අපගේ මසැසට ගොදුරු කරගත හැකි සත්ත්වයෝ ය. එහෙත් භාවනා මගින් හෙවත් අතින්ද්‍රිය ප්‍රත්‍යක්යෙන් (අභිඥා මගින් ) දැකිය හැකි ලෝකයේ සත්ත්වයන් කොපමණක් වේද? මේ සියල්ල අප බුදුරදුන් දුටු නිසා උන්වහන්සේ ලෝකවිදූ වූවාහ.
සංඛාර ලෝකය යනු මේ අනන්ත වූ සත්ත්ව ලෝකයෙන් අවකාශ ලෝකය හෙවත් විශ්වධාතුන්ගෙන් පවත්නා ධර්මතාවන්ය. ඒ සියල්ල දෙවියකුගේ බ්‍රහ්මයකුගේ හෝ ඕපපාතිකව ඉබේම හටගත් දේවල් නොව හේතුප්‍රත්‍ය ධර්මයන්ට අනුව හටගන්නා දේවල් බව බුදුරදහු දුටුවාහ. බිඳෙන පලුදුවන සියල්ල ලෝකය වශයෙන් නිර්වචනය කොට දක්වන බුදුන් වහන්සේ විශ්වයේ අවකාශයේ ආරම්භය ගැන එහි දිග පළල පිළිබඳව නඟන ප්‍රශ්න නිසරු අරුත් රහිත දේ ලෙස සලකා ඒවාට පිළිතුරු දීම පසෙක තැබූහ. අනන්ත සසර දුක් විඳින සත්ත්වයන් එසේ දුක්විඳීමට හේතුව පසක් කරගත් බුදු රජාණන් ඒ සසර දුකෙන් මිදීමේ මඟ පසක් කරගෙන සෙසු සත්ත්වයන් දුකෙන් එතෙර කිරීමට වසර 45ක් ධර්මය දේශනා කළහ. ලෝකයත් ලෝකයේ හටගැනීමත් ලෝකයෙන් නිදහස් වීමත් එයට මාර්ගයත් බුදු රජාණන් වහන්සේ ලොවට පැහැදිලි කළහ.
මේ නිසා බුදු රදුන්ගේ ලෝක විදු ගුණය ඉවහල් වනුයේ අපගේ සංසාර දුකෙන් අත්මිදීමට විනා ඒ ලෝක විෂය දැක විශ්මයට පුදුමයට පත්වීමට නොවේ. අද වැනි දවසක බුදුරදුන්ගේ ලෝකවිදු ගුණය අවබෝධ කරගත යුත්තේ ඒ නිසා ය.
උපුටා ගැනීමකි !
Comments
Post a Comment